ආවරණ තුන
භාවනාවෙන් උසස් ඵල ලැබිය හැකිකේ කර්‍මාවරණ , විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.
කර්‍මාවරණ යනු මවු මැරීම්, පියා මැරීම් ආදී ආනන්තර්ය පාපයක් කර ඇති බවය.
විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නො හැකිය.
ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිත්‍යාදෘෂ්ටිකයෝත්, උභතෝව්‍යංජකයෝත්, නපුංසකයෝත්
පරිබෝධ
භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි.
ආවාස යනු වාසස්ථානයයි. බඩු බාහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එ වැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.
කුල යනු නෑදෑ පිරිසය, උපස්ථායක (දායක) පවුල් ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීම ද යෝග කර්මයට බාධකයෙකි.
ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දැයි පින් ඇති ලාභී භික්‍ෂු නමට ගිය ගිය තැන් සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නො ලැබේ. යෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතු.
ගණ යනු පිරිවර යි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත් ය. ගිහියාට සිය නෑදෑ පිරිස් ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදීහු ය. ඉගැනුම් ආදිය සඳහා යම් යම් අය නිතර එන්නට වුවොත් යෝගියාට භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූ දරු ආදීනට තමා ගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනකුට පවරා එකලා විය යුතු.
කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන් අයෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.
ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවල දී ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.
ඥාති යනු නෑදෑයෝ ය. මා පියෝ ආචාර්ය උපාධ්‍යායයෝ සහෝදර ආදීහුය. ඔවුනට තමා ගෙන් ඉටු විය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නීරෝග වූ පසුව තමා ගේ භාවනා කාර්යය ඇරඹිය යුතු. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීමට සමත් විශ්වාසි කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස් ව භාවනා කර්මයට බැස්ස යුතු.
ආබාධ පරිබෝධය යනු තමාට වැළඳී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු. සුවය ලැබීම දුෂ්කරවී නම් ‘මම මේ රූප ශරීරයට වහල් නො වෙමි’ යි ඉටා සිතට ධෛර්යය නංවා රෝගය මැඩ කමටහන් වැඩීමෙහි යෙදිය යුතු.
ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්ම යි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නො හැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත් ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් ලිවීම් ආදී කටයුතුත් මෙසේ ම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතු.
සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධිය භ. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සමවැදීම් ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වුවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇලී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නො ලැබේ. එබැවින් එ වැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරඹිය යුතු. සෘද්ධිබාධක වන්නේ විදර්ශනා වැඩීමට යි.
කල්‍යාණ මිත්‍රාශ්‍රය. මෙහි දැන් කී පරිදි බාධකයන් දුරු කොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීම යි.
ප්‍රධාන ම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ආචාය¸වරයා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති තැන අසු මහා ශ්‍රාවකයන් ගෙන් කෙනකු ආචාය¸ කැරැගත යුතු. එසේත් කෙනකු නො ලදෝ අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතු. රහත් නමක්ද නොලදොත් සකෘදාගාමියකු ද, එසේ වූ කෙනකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.
රහත්හු අනාගාමිහු සකෘදාකාමීහු සෝවාන්හු මම මෙනම් අධිගමයක්ලබා ඇත්තෙක්’මි යි අනුන්ට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විදසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනකු බව දැන ගත්තොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආය¸ තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසි යහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබා ගත හැක්ක.
සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නො හැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයෙකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ.
“පියො ච ගරු භාවනිය්‍යො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා
නො චාට්ඨානෙ නියෝජයෙ”
ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් පි‍්‍රය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නො මැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙරුනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍යා නො නිසි අතෙක නො යවන්නෙකි.
මෙහි කී ගුණාංවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනා වැඩිය යුතු.’
අනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතු. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නො හැකි වුවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සදහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව බවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පොරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතු.
ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යී කී පරිදි උවදුරු නැති ආරාණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මූලකට හෝ කිසිම කෙනෙකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. එහි තමා ඉදීමට නියම කොට ගත් තැන අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරගත යුතු යි.
සමහරු දණ නමා බද්ධප¸ංකයෙන් හෝ හසරමිණීය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉඳිනු නො හැක්කෝ ය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසු ය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳ ගත යුතුය. ඇතිරිලියෙක, පැදුරෙක, මෙට්ටයක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටු කොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතු ය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි”යි අධිෂ්ඨාන කළ යුතු.
මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නො හැකි අය අඩු ම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැ ගත යුතු ය.
No comments:
Post a Comment