Friday, February 3, 2012

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස​.

මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්, ජීවමාන බුදුරුව දකින්නට නැති උවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දක්නට අපි උත්සහ කරමු. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක​. සියලු පාපයන් ගෙන් මිදුන සේක. රහසින්වත් පව් නොකළ සේක​. සියලු ලෝ වැසියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක​.
   බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහා ආශ්චර්‍යය, පාරමී පුරන සමයේ අඹු දරුවන් දන් දුන් සේක​, මහා රාජ්‍ය දන් දුන් සේක​, ඇස් උපුටා දන් දුන් සේක, බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්‍යය​, කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඬක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක​.මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවි වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදුපියාණන් වූ මොහදුරට ලහිරු මඬලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථ නාථ වූ අසරණ සරණ වූ අග්‍ර දක්‍ෂිණෙය්‍ය වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත්මිදීම පතා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!!!

No comments:

Post a Comment