භාවනා වඩන හැම කෙනෙකු විසින් ම පළමු කොට බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව හෝ කායගතාසතියද, “ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතු.
බුද්ධානුස්සතිය යනු බුදු ගුණ මෙනෙහි කිරීමයි. බුදු ගුණ මෙනෙහි කරන්නහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නීරෝගී වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.
මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි. අශුභ භාවනාව හෝ කායගතාසතිය වඩන තැනැත්තෝ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නො වෙයි. ඇතැම්විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නො මඟ යවන්නට, දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නො රැවැටෙයි.
මරණාස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වන කෙනෙකු බව සැලකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසිත නොවෙයි.
බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපාන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතු. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන් ගත යුතු. ආත්මසන් නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්‍මස්ථාන දෙන ආචාර්ය වරයාට සිතින් පරිත්‍යාග කළ යුතු.
සමහර විට භාවනාවෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. ඒ එ බඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි.”යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි”යි නොසලකා බිය නො ගෙන ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නො කොට ඒ අරමුණු නො තකා හැර භාවනාව දිගට ම කැරැගෙන යැමෙහි සමත් වෙයි.
ආනාපාන සමාධිය
ආනා යනු ආශ්වාස වායුව යි. ආපන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතු යි. භාවනානු යෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අටසිල්, දසසිල්, යන තමා රිසි ශීලයක් සමාදන් ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතු යි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනවින් පිහිටා පිරිසුදු වියැ යුතු.
සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ) ආනාපාන සති සූත්‍රයේත්, ආනාපාන සතිය සදහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ” සො සතො ව අස්සසති සතො’ව පස්සසති’යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේ ම හුස්ම (ඇද ) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි’ යනු යි.
මේ පළමු අවස්ථායෙහි ඇතුල් වන හුස්මත්, පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දිග අයගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාසාග්‍රයේ ය. (නාසයේ අග ය) හුස්ම පිට වීමේ දී අන්තිමට ම හැපෙන්නේ ද නාසිකාවේ අගය.
නාසය හුස්ම (කොට) අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින් ම හැපෙන්නේත්, හුස්ම පිට කිරීමේ දී අන්තිමට ම හැපෙන්නේත් උඩුතොලෙහි ය. යෝගාවචරයා තමාගේ හුස්ම ඇතුල් වීමේ දීත් පිට වීමේ දීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත්, පිට කිරීමට වත් උත්සාහ නො කළ යුතුයි. ස්වභාවයෙන් ම (ඉබේම) සිදු වන හුස්ම ඇතුල් වීමටත්, පිට වීමටත් එසේ සිදු වන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත්, පිට වන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.
එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතු ව සිතින් එය සැලකිය යුතුයි. සිතට නො දැනී කිසි ම හුස්මක් ඇතුල් වන්නට හෝ පිට වන්නට නොහැකි වනුවට නිතරම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත්වන ම හින්ද යුතු. අන් කිසි ම අතකට සිත නො යවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මුල දී ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි.
සිතේ එකග බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හිම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමැති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇතිවේ. පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වුව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත් බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්‍ෂිප්ත නො වන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වුවද ගත විය හැක්ක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නොසැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියා මාර්ගය ඇරඹිය යුතු.
ගණනාව
මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීම යි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතු යි. ඒ දෙක ම මිශ්‍ර නො කළ යුතු යි. එය කරනුයේ මෙසේ යි.
හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල් වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක “යි සිතින් ගිණිය යුතු. ඊළඟ වාරයේ එ තැන හුස්ම හැපෙන තුරු ම ‘එකයි එකයි එකයි’ සිතින් ගණිමින් එ තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. එ තැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතු. ඊළඟට එ තැන හුස්ම ඛ්ැපුණු විට ‘දෙකයි දෙකයි (සිතින්) කිය යුතු යි.
තුන්වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටය යි. ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් වන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් “එකයි “ කියා ගිණීම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතු යි. මේ තුන් වන වටය යි” යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණීම පටන්ගෙන අට වන වාරය තෙක් ම යැ යුතු. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණීම පටන් ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස් වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දස වන වාරය තෙක් ගිණිය යුතු. මේ හයවන වටය යි.
හයවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි එකයි” ගනිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතු යි. ඒ පළමු වටය යි. මෙසේ තවත් වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අතේ යැ නො දී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේ දී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩි නැති බවට ලකුණෙකි. ගිණිමෙහි යෙදී ඉන්නා තාක් සිත හුස්ම හැපෙන තැන ම නො සැලී සිටී නම් එයින් පසු ගිණිම නතර කොට අනුබන්ධනාව පටන් ගත යුතුයි.
අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැති ව හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීම යි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි.
මේ අවස්ථාවේ දී නාසිකාග්‍රයෙහි හෝ උඩු තොලෙහි (කලින් හුස්ම හැපුණු තැන) අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දක්නට යළිත් උත්සාහ කළ යුතු. මෙසේ සිහියෙන් නුවණින් එ තැන සිතින් මෙනෙහි කරන විට යළිත් හුස්ම වැටීම දැනෙන්නට වේ.
මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉඹුල් පුළුන් පිඩක් හෝ කපු පුළුන් පිඩක් හෝ වායුධාරාවක් (කලින් හුස්ම හැපුණු තන්හි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.
ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩක් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මුතු ඇටක් හෝ මුතු රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුළක් හෝ මල් දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරුමඩල සඳමඩල වැන්නක්, රියසකක්, දුම් සිළුවක්, ලී කූරක් හෝ ගෙතූ දික් නූලක් බඳු දැයෙක් පෙනෙන්නට වේ. මේ ප්‍රතිභාග නිමිත්ත ය. උඩ කී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක් කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන් ගේ හැඟීමෙහි ;වනස නිසා ය.
උපචාර සමාධිය ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණයෝ යටපත් වෙත්, උපචාර සමාධිය ඇති වේ.
නීවරණයෝ නම්: කාමච්ඡන්දය (කාමාශාව), ව්‍යාපාදය (තරහව), ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් ගේ මැලි බව), උඬච්ච කුක්කුච්චය (සිත නො සංසුන් බව හා කුකුස), විචිකිච්ඡාව (සැකය) යන පස යි.
මෙහි යෝගියාට හුස්ම ගන්නා කෙණෙහි ඇති වන සිත එකෙකි, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි, හුස්ම පිට කරන විට ඇති වන සිත අනෙකෙකි. මේ හැම එකෙකදී ම ඒවා අරමුණු කොට ඉතා ඉක්මනින් චිත්ත වීථින් ඇතිව නැති ව යන බැවින් එක් සිතෙකින් ම හුස්ම ගැන්මත්, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටීමත්, හුස්ම පිට කිරීමත් කැරේ යැ යි වරදවා නො ගත යුතු. මේ තුන් අවස්ථාවෙහි ම සිත එළඹ සිටි සිහියෙන් යුතු ව ඒ ගන්නා හුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ භාවනාව උපචාර අවස්ථාවට ද, අර්පණා (ධ්‍යාන) අවස්ථාවට ද වැඩෙයි.
්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළැඹ සිටි සිහියෙන් යුතුව එය නැතිවී යා නො දී රැක ගත යුතු වෙයි.
දුරු කළ යුතු සත අයෝග්‍ය වූ වාසස්ථාන, අයෝග්‍ය ගොදුරුගම, අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය ඍතුගුණය, අයෝග්‍ය ඉරියව්ව යන සතින් වෙන් විය යුතු.
අයෝග්‍ය වාසස්ථානය යනු යම් තැනෙක විසීමේ දී සිත එකඟ නො වේ නම්, භාවනා අරමුණෙහි සිත නො පිහිටා නම්, එ බඳු තැන යි. ‘මෙ තැන දී සිත එකඟ නො වේ’ යැයි යෝගියාට හැඟුණු විට එහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.
අයෝග්‍ය ගොදුරු ගම යනු ආහාර පාන සුලභ නැති තැන යි. එය හැර ආහාර පාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතු.
අයෝග්‍ය කථා සංලාප යනු තමා කරන භාවනාවට අදාළ නො වන අන් අන් දැය පිළිබඳ කතා බහය. ඒවා අසෙන විට භාවනා අරමුණෙන් ඈතට සිත යෑ හැකි ය. අන්‍ය විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවිය යුතු.
අයෝග්‍ය පුද්ගලාශ්‍රය යනු භාවනානු යෝගි නො වූ භාවනා ක්‍රියාවට අනුබල නොදෙන නානාවිධ අන්‍ය කටයුතුවල යෙදුණාහුය. ඔවුන් ඇසුරු නො කට යුතුය ය.
අයෝග්‍ය භෝජන යනු තමාට රුචි නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හැර හිතකර ආහාර පාන ලැබෙන, සැපයෙන සැටියක් පිළියෙළ කැර ගත යුතු.
අයෝග්‍ය ඍතුව යනු තම සිරුරට අහිතකර ශීතෝෂ්ණාදි ඍතු ගුණ යයි. ශීතය අධික නම් එ තැනින් ඉවත්විය යුතු. උෂ්ණ අධික නම් එයින් ද ඉවත්විය යුතු. තමාට ගැළපෙන සම ඍතු ගුණයක් ඇති පැත්තකට යෑ යුතු.
අයෝග්‍ය ඉරියව්ව ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යනු ඉරියවු සතරයි. එහි ද යම් ඉරියව්වක් තමාට සැප නොවේ නම් එය හැර දමා සැප වූ ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.
දශ කුශලතා මේ අයෝග්‍ය දෑ සිතින් වෙන් ව සිතා එකඟ බව වැඩීමට උපකාරී වූ දැ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද, හඳනා පොරෝනා වස්ත්‍ර ද පිරිසිදු කොට ගැන්ම යි.
දෙ වැන්න ඉන්ද්‍රිය සමතාව යි. ශ්‍රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්‍රඥා යනු ඉන්ද්‍රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යට පත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.
තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යෑ නො දී රැක ගැන්මේ දක්ෂ බවයි.
සතර වැන්න සිත පසු බස්නට නො දී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මවිචය, විරිය, පීති යන තුන් බෝධ්‍යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.
පස් වැන්න වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්ය නිසා සිතේ නො සංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි, උපේක්ඛා, සමාධි යන බොජ්ඣංග වඩා වීර්ය යේ සමතාව ඇති කැරැගත යුතු.
ස වැන්න අරතිය මැඩලීමයි. කිසි විටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති, ජරා, චුති ආදි සංවේගයට කරුණු වන දැ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්‍රසන්නතාව ඇති කැරගත යුතු.
හත් වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.
අට වැන්න සමාධි භාවනායෙහි නො යෙදුණු වුන් ගෙන් වෙන් වීමයි.
නව වැන්න සමාධිලාභීන් විටින් විට ඇසුරු කිරීම යි.
දස වැන්න සමාධි භාවනාව ගරු කොට, එයට ම නැමී, අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත් ම යි.
මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතුයි. ඒත් ප්‍රථම ධ්‍යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමතාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධ්‍යානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වන තුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථම ධ්‍යානය ඇති වේ. සතර වන රූප ධ්‍යානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.
ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සිත විතර්ක විචාර ප්‍රීති සුබ ඒකාග්‍රතා යන ධ්‍යානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැද ගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතියයි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනා ගිය ගතිය ප්‍රීතිය යි. එසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැද ගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්‍යානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිත ලැගී පැවැත් ම, ඒකාග්‍රතාව යි. එකඟ බව යි.
නීවරණ ප්‍රහාණය මේ ධ්‍යානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යට පත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.
ඒකාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්, අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතු විය නොහී ගිලී යයි. ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විස්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යට පත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථිනමිද්ධ නීවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතු විය නො හැක්ක. මෙය විතර්කයෙන් ථිනමිද්ධ නීවරණය විෂ්තම්භන වශයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. ධ්‍යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නො සංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යට පත් වේ’ මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්තම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ යැ යි කියන ලදී.
විචාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්‍යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එ තෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟ ;පන් වූ ශාස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් ආර්ය සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නීවරණය (සැකය) ප්‍රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබ ය.
මෙසේ විතර්කයෙන් ථිනමිද්ධය ද, විචාරයෙන් විචිකිච්ඡාව ද, ප්‍රීතියෙන් ව්‍යාපාදය ද, සුඛයෙන් උද්ධච්චකුක්කුච්චය ද, ඒකාග්‍රතායෙන් කාමච්ඡන්දය දැයි ධ්‍යානාංග පසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය සිදු වේ.
ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරැගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. පංච වශිතා යනු ආවජ්ජන,, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යනු වශිතා පස යි.
ආවර්නයට අනුව තමා කැමැති තැනෙක, කැමැති විටෙක රිසි ධ්‍යානාංග වලින් යුත් ධ්‍යානයකට සම වැදිය හැකි බව, කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වසිතා නමි.
වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වසිතා යි. තමා ගේ අධිෂ්ඨානය අනුව ක්‍ෂණයක් හෝ වැඩි වේලාවක් ධ්‍යානයෙහි සිටිය හැකි බැව් අධිෂ්ඨාන වාසිතාව යි.
කැමැති විටෙක සමාපත්තියෙන් නැගී සිටිය හැකි බව වුට්ඨාන වසිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධ්‍යානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීම පච්චවෙක්ඛණා වසිතාව යි.
සිය දහස් වර ප්‍රථම ධ්‍යානයට සම වදිමින් ඉන් නැගී සිටිමින් වසිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ.
විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව, එය කාමච්ඡන්දා දී නීවරණවලට කිට්ටු බව, එයට නො සම වැදී ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයන් නැගී සිටිය හැකි බව යනාදි දොස් පෙනෙයි. විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වුවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.
ද්විතීය ධ්‍යානය ද වසිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැයි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංක දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වහීතායෙන් පුරුදු කැරැගත් විට එහිදළ බව ඔහුට පෙනෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වසිතා පසින් තුන් වන ධ්‍යානය ද හුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ ධ්‍යාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම් සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිව කන යන අභිඥා පස ලැබීමට, ඒවා ලබත හැකි ක්‍රියා මාර්ගයට බැස්ස හැකි ය. සිත තව දුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකි ය.
එහෙත් මේ රූප සමාපත්ති සතරත්, අරූප සමාපත්ති සතරත් යන අට ම ලෞකික, රූප ධ්‍යානවල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දී්ර්ඝ කාලයක් උන්නත් අන්තිමේ දී එයින්චුත ව මිනිස් ලොවට එන්නට සිදු වෙයි. ඍද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. එසේ උපන් අත්බව්හි පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩවිලකු ව උපදින්නට ද පුළුවන.
රූප ධ්‍යාන ලාභියාට වඩා අරූප ධ්‍යාන ලාභියාගේ ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූප ධ්‍යාන අරූප ධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත්, අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමා වූ කවර විටක වුව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකික ය.
මෙසේ මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නො මිදුණු , ජාති ජරාදි දුකින් නො මිදුණු ලෝකයෙන් ගොඩ නැඟෙන්නට, ලොකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.
අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්ත්වයට, මොන ම දුකකටවත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නො ව විපස්සනා භාවනාව වැඩීමෙනි.
ම් බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.
ආනාපාන සති විපස්සනාව
මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකි ය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකි ය.
ගණනා අනුබද්ධනා අවස්ථා :
කායෙසු කායඤ්ඤ තරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සසා - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම, පිට වන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපාන සති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනුනාම ධර්මයෙක් (චිත්ත චෛතසික) නො වේ. රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳ රැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැර රූප කලාපයෙන් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්ත ය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි ආපෝ තේජේ වායු වර්ණ ගන්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්ත ය.
පඨවි යනු තද ගති ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතිය ය. තේජෝ යනු ශීත ගුණයත්, උෂ්ණ ගුණයත් ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නො හැකි සේ එකට බැඳී පවතිත්, පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි.
හිරුරැස්, සඳරැස්, අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල් ය. රශ්මියක් ඇඟට වැදෙන විට ම දැනෙයි. අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙනනේ තද ගතිය යි. පසෙහි තද ගතිය ප්‍රධානය. වතුර යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. ගින්නෙහි ධාතු සතුර ම ඇතත් තේජෝ ධාතුව පුමුඛ යි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛ යි.
හුස්ම යනු ඉතා සියුම් වූ රූප කලාප (රූප මිටි) රාශින් ගේ පරම්පරාවකි. එහි විසිරිය නො දී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි. එහි කිසි විටෙක ශීතය ද, කිසි විටෙක උණුසුම ද ඇති වනුයේ තේජෝ ධාතුව නිසා ය. හුස්මෙහි චලනය සිදු වනුයේ එහි ඇති වායු ධාතුවෙනි. ඇතුළට ඇදෙන ද,, පිට වන ද හුස්මෙහි ප්‍රධානියා වායු ධාතුවයි. මෙසේ හුස්ම යනු පෘථිවි ආදි සතර ධාතුන්ගේ මිටි රැසෙකි. සිරුර පුරා ම ඇති නානාවිධ සියලු ම වාතයෝ සතර ධාතුන්ගෙන් සෑදුණු රූප කලාප සමූහයෝ ය

